අලුත ඉපදුණු දරුවන්ට පීඩා කරන කොලික් තත්ත්වය ගැන ඔබ දැනුවත්ද?
අලුත ඉපදුණු ළදරුවන් නොනවත්වාම හඬන සහ ගැටළුවට පත් වීමට හේතුවක් ලෙස කොලික් තත්ත්වය හඳුනා ගැනේ. මේ තත්ත්වයට හේතු වන කාරණා සහ එයට විසඳුම් ඩර්ඩන්ස් රෝහල් මාතෲ හා ළදරු ඒකකය මෙසේ ඉදිරිපත් කරයි
ඇයි කොලික් ඇති වෙන්නේ?
කිරි සමඟ මුව තුළින් වාතය ඇතුළු වී උදරයේ (ආහාර මාර්ගයේ) හුළං පිරීමෙන් දරුවාට අපහසුවක් ඇති වීම කොලික් තත්ත්වයයි.
කොහොමද මේ තත්ත්වය ගැන දැන ගන්නේ?
1. දරුවා කෑගසමින් හැඬීම
2. දරුවා ඇඟට බර ගනිමින්, අත් පටලමින්,දෑස් පොඩි කරමින් හැඬීම
3. දවසේ නිශ්චිත වෙලාවකට හැඬීම
4. කිරි බීමෙන් පසු මළපහ පිටකිරීම
5. සැනසීම ඉතා අපහසු වීම
දරුවන් බඩගින්නට, මහන්සියට, මුත්‍රා පිටවූ පසු තෙත් ගතිය ඇති විට සහ අවධානය ලබා ගැනීමටත් හඬන අතර මේ තත්ව වලට අමතරවත් අසීරුවෙන් හඬනවාද යන්න ගැන විමසිලිමත් විය යුතුයි
කළ හැකි ප්‍රතිකර්ම
1. දරුවා රැගෙන ඇවිදීම
උරහිසට හෝ පපුවට තෙරපා තබාගනිමින් ඒ මේ අතට ඇවිදීම මගින් තත්ත්වය යම්තාක් දුරට සමනය කරගත හැකියි.
2. අවධානය වෙනස් කිරීම
ළදරුවා වාහනයක රැගෙන යෑම ළදරුවා රිද්මයානුකූලව පැද්දීම ආදී ළදරුවාගේ අවධානය වෙනස් කිරීමෙන් මේ තත්ත්වය යම්තාක් දුරට මග හරවා ගත හැකියි.
3. ළදරු සම්බාහනයක් ලබා දීම
ළදරුවා ඇඳක් මත මුනින් අතට තබා රිද්මයානුකූලව පිට පිරිමැදීම මගින් දරුවා නින්දට යොමු කළ හැකියි. බයිසිකලයක් පදින ආකාරයට දරුවාගේ කකුල් හැසිරවීම ද හොඳ ප්‍රතිකාරයකි
4. සන්සුන් වන සංගීත ඛණ්ඩ වාදනය.
Relaxing music හෝ white noise වාදනයට සලස්වා අවධානය වෙනස් කිරීමෙන් ද දරුවා සැනසීමට හැකියි.
5. ඔබ මව්කිරි ලබා දීමේ නිවැරදි ක්‍රම
ඔබ පියයුර දරුවාගේ මුවෙන් තබද්දී හුළං මුවට නොයන ලෙස තනපුඩුව පමණක් නොව ඒ වටා ඇති Areola කොටස ද මුවට ඇතුළු කරන්න.
යළි පියයුර ඉවත් කරද්දී දරුවාගේ මුඛයෙන් ප්‍රවේසමෙන් තන පුඩුව ඉවත් කර ගන්න.
දරුවාට මව්කිරි ලබා දෙන්නේ නම් කිරි නිෂ්පාදන, කැෆේන්, ළූණු සහ ගෝවා වැනි ආහාර ඔබේ දරුවාගේ සංවේදී ආමාශයට බලපෑම් එල්ල කිරීමට ඉඩ ඇති බව තේරුම් ගන්න
6. අඳුරු සුවපහසු කාමරයක නිදි කරවීම
7. උණුසුම් වතුර බෝතලයකින් උදරය තැවීම
මේ ආකාරයෙන් ඖෂධ රහිත ක්‍රම හරහා ළදරුවා සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම අපහසු නම් වහාම ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබාගැනීම කළ යුතුමයි.
වහාම වෛද්‍යවරයෙක් වෙත යායුතු තත්ව මොනවාද?
වඩා ගන්නා විට ඇඟ පණ නැති ගතියක් තිබීම
වෙනදාට වඩා අඩුවෙන් මව්කිරි ලබා ගැනීම
වෙනදාට වඩා අඩු වෙන් මුත්‍ර පිට කිරීම
කොළ පැහැ තරලයක් වමනය කිරීම
දරුවාගේ මළපහ සමග රුධිරය පිට වීම
38 ° C හෝ ඊට වැඩි උණ ( මාස තුනකට වඩා අඩු නම්) හෝ 39 ° C හෝ ඊට වැඩි උණ ( මාස තුනක් හෝ හයක් වයසැති නම්) තිබීම
නිල් පැහැ හෝ සුදුමැලි බවට හැරීම
හුස්ම ගැනීමේ ගැටලු.
ඔබ මේ තත්ත්වයට ඉවසීමෙන් සහ කල්පනාකාරීව මුහුණ දිය යුතුයි. පවුල් සෞඛ්‍ය සේවිකාව,ළමා රෝග විශේෂඥවරුන් ඔබට උදව් වෙන්නට සූදානම් බව මතක තබා ගන්න.
මෙවැනි ඕනෑම අවස්ථාවක ඩර්ඩන්ස් මාතෘ හා ළදරු ඒකකය අමතන්න.